මුදල් වංචාවකට අදාළව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරු නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ජනාධිපති කාර්යාලය විසින් එම පැමිණිල්ල සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
අදාළ සිරකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තුවේදීද ඊයේ අදහස් පළ වුණා.
මේ, ඒ සම්බන්ධයෙන් එහිදි අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා.
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැති සිරකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙසට අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර තිබෙනවා.
පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 05 වැනි දින වන විට බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව මෙම සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
කෙසේවෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත්ව නොතිබූ බවයි.
ඒ අනුව සමාව දීම සදහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
කෙසේවෙතත් ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.