2008 පළාත් සභා මැතිවරණ සමයේ රුසියාවේ හිටපු තානාපතිවරයකු වන වෛද්‍ය රාජා ජෝන්පුල්ලේගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියකට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකුට සහ තවත් විත්තිකරුවෙකුට බරපතළ සිර දඬුවම්.

2008 වසරේ පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ රුසියාවේ හිටපු තානාපතිවරයකු සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරවරයෙකු ලෙස සිටි වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා වාහන ඇතුළුව රුපියල් ලක්ෂ අටසීයකට අධික වටිනාකමකින් යුත් දේපළවලට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාලන සමයේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකුට සහ තවත් විත්තිකරුවකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලී හේවාවසම් මෙනවිය බරපතල සිර දඬුවම් සහ දඩ නියම කර තිබෙනවා.

ඒ අනුව අධි චෝදනා තුනකට විත්තිකරුවන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුනට වෙන් වෙන් වශයෙන් තවත් වසර එක බැගින් සිර දඬුවම් නියම කෙරුණා.

මෙසේ සිර දඬුවම් නියම වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාලන සමයේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ ආර් ඒ අනිල් පුෂ්පානන්ද සහ ඒ එම් නිමල් ගාමිණී ජයසූරිය යන දෙදෙනාටය.

2008 වසරේ අගෝස්තු මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මැතිවරණ බල ප්‍රදේශයට අයත් අනුරාධපුර ප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයින් වීමෙන් අයුතු ලෙස ඇතුළු වී වෛද්‍ය ජෝන් පුල්ලේ මහතාගේ නිවසට වෛද්‍ය මධ්‍යස්ථානයට සහ දේපළ රැසකට ගිනි තබා අනර්ථයක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.