රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිය වැඩ වර්ජනයෙන් අද දින රෝගී සත්කාරක සේවා අඩාල වනු ඇති බවයි එම සංගමය පවසන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ තෝරාගත් රෝහල් කිහිපයක හැර සෙසු රෝහල්වල අද පෙරවරු 08.00 සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.

පවතින ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් වුවද ඒවාට විසඳුම් ලබාදීමට නිලධාරින් කටයුතු නොකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් සෞඛ්‍ය බලධාරින් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබාදෙන්නේ නම් වැඩ වර්ජනය පිළිබඳ යළි සලකා බැලීමට සූදානම් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ.