අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පොලිස් පරීක්ෂක වික්‍රමාරච්චි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ 2014 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල ඇති වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එවක ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් අල්ලස් කොමිසමට යොමු කර තිබූ බවයි.

ඒ අනුව 2017 වසරේදී මීට අදාල විමර්ශන ආරම්භ කළ බවයි එම නිලධාරියා පැවසුවේ. ඒ අනුව මෙම සැකකරුට එල්ල වී තිබෙන චෝදනා තුනක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ බවත් ඔහු පැවසුවා.

2014 වසරේ ජනවාරි මස 22 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ යූ.එල් – 319 දරණ ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4,512ක පාඩුවක් සිදු කළ බවට මෙම සැකකරුට එක් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඊට අමතරව 2014 වසරේ ජනවාරි මස 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව සිටි මගීන් 75 දෙනෙකු යූ.එල් – 563 ගුවන් යානයෙන් පිටත්කර හැරීම තුළින් අමෙරිකානු ඩොලර් 19,160ක් පාඩුවක් සිදු කිරීම සැකකරුට එරෙහි තවත් චෝදනාවක්.

එමෙන්ම 2014 වසරේ දෙසැම්බර් මස 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කලා ශිල්පින් ගෙන්වා සංගීත ප්‍රසංගයක් පවත්වා රජයේ මුදල් දොලොස් ලක්ෂ පනස් දහසක් වැය කිරීම තුළින් රජයට පාඩු සිදු කිරීම මෙම සැකකරුට එල්ල වී තිබෙන එම චෝදනාවල සඳහන් වනවා.

ඊට අමතරව මෙම සැකකරු විසින් චතුරිකා මුහන්දිරම් නමැති ගුවන් සේවිකාවකට වැඩි වාසි සැලසෙන ගුවන් ගමන් වාර ලබාදීම මෙන්ම එවැනි ගුවන් ගමන් වාර වැඩි සංඛ්‍යාවක් ලබා දීමට කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි විමර්ශන නිලධාරියා එහිදී කියා සිටියේ.

එහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූවා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් නීතිඥ සජිත ජයවර්ධන මහතා සමඟ නීතිඥ අසේල රැකව මහතා කරුණු දැක්වූවා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.