2025 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, සුපිරි හතර දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරඟය ලකුණු 41කින් ජය ගනිමින්. මෙම තරඟයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් වුණා. විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 37කදී ලකුණු 75ක් රැස් කළා. ඒ, හතරේ පහර 06ක් සහ හයේ පහර 05ක් සමගින්. හර්දික් පාන්ඩියා පන්දු 29කදී ලකුණු 38යි. රිශාඩ් හොසේන් ලකුණු 27කට කඩුලු 02ක් දවාගත්තා. ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 03කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 127ක් පමණයි. ආරම්භක පිතිකරු සයිෆ් සහන් පන්දු 51කදී ලකුණු 69ක් රැස්කළ අතර ප්‍රවීස් හොසේන් පන්දු 19කදී ලකුණු 21ක් රැස්කළා. බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කුල්දීප් යාදෙව් ලකුණු 18කට කඩුලු 03ක් දවා ගත්තා. ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18කට කඩුලු 02යි. වරුන් චක්‍රවර්ති ලකුණු 29කට කඩුලු 02ක් දවාගත්තා. තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තේ අභිෂේක් ෂර්මායි. මෙම තරඟය ජය ගැනීමත් සමග මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය කල්වේලා ඇතිව වෙන්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරඟය ඉතිරිව තිබියදීයි. මෙම තරඟය ඉන්දීය කණ්ඩාය ජය ගැනීමත් සමග මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසීම සඳහා තිබූ අවසන් අවස්ථාව ද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා. ඒ අනුව බංග්ලාදේශය සහ පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමග ලබන 28 වනදා පැවැත්වෙන 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇති.
Published