2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වී තිබෙනවා. ඒ, ඊයේ පැවති පිරිමි මීටර 1,500 ඉසව්වෙන්.

මෙම විශිෂ්ට දස්කම දැක්වූයේ ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩක ළහිරු අචින්තයි. තරගය නිමා කිරීම සඳහා ඔහු විනාඩි 3යි තප්පර 57.42ක කාලයක් ගත කළා. එම ඉසව්වේ රිදී පදක්කම චීනයට ද ලෝකඩ පදක්කම හොංකොං රාජ්‍යයට ද හිමි වුණා. ළහිරු අචින්ත දිනාගත් මෙම රන් පදක්කම, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රිඩකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙසටයි වාර්තා අතරට එක් වුණේ.
එමෙන්ම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති කාන්තා මීටර 1,500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වුණා. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4යි තප්පර 52.32ක කාලයක් ගත කළා.
2025 ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ බහරේනයේදීයි. මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාව මේ දක්වා දිනූ පදක්කම් සංඛ්‍යාව දෙකක්. ඒ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වන ස්ථානයේ පසුවනවා.