ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම්‌ සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්, එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටි බව ද වාර්තා විය.

මෙහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ කර තිබෙනවා.

එසේම මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර එකඟ වූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම මුද්‍රණය කර 2025 07.17 කාරක සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව කාරක සභාව නැවත 2025.07.17දින රැස්වීමට නියමිතයි.

මෙම කාරක සභා රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, නලින් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, නීතීඥ ගීතා හේරත් සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මින් ද එක්ව සිටියා.