අල්ලස් කොමිසම මගින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකරු රුපියල් 50000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන බොහෝ දුරට අවසන් වී ඇති බව සඳහන් කළා.

ඒ අනුව අධීකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි එම නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ අතර පැමිණිල්ල නැවත ලබන ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙසත් නියම කළා.

අල්ලස් කොමිසම විසින් චෝදනා තුනක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව විමර්ශන සිදු කරන බව අධිකරණයට දැනුම්දී තිබුණා.

2014 වසරේ ජනවාරි මස 22 වන දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ යූ .එල්. 319 දරණ ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට ඇමෙරිකානු ඩොලර් 4512 ක පාඩුවක් සිදු කළ බවට මෙම සැකකරුට එක් චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඊට අමතරව 2014 වසරේ ජනවාරි මස 26 වනදා මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව සිටි මගීන් 75 දෙනෙකු යූ.එල්. 563 ගුවන් යානයෙන් පිටත්කර හැරීම තුළින් ඇමෙරිකානු ඩොලර් 19160 ක් පාඩුවක් සිදුකළ බවට මෙම සැකකරුට තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා.

එමෙන්ම 2014 වසරේ දෙසැම්බර් මස 19 වනදා කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කලා ශිල්පින් ගෙන්වා සංගීත ප්‍රසංගයක් පවත්වා රජයේ මුදල් 1250000/- ක් වැය කිරීම තුළින් රජයට පාඩු සිදු කිරීම මෙම සැකකරුට එල්ල වී තිබෙන එම චෝදනාවල සඳහන් වෙනවා.