මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.

එහිදී ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා පවසනවා.

ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන රැකියා ඛාණ්ඩවල රැකියා අවස්ථාවන් වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද මසූද් ඉමාද් මහතා පවසා සිටියා.

මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මසූද් ඉමාද් මහතා කියා සිටියේ ඒ පිළිබඳව මාලදිවයින රජයේ ද අවධානය යොමු වුණු බවත් එම ගැටලුකාරී අවස්ථා විසඳීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.