ඊයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමේ සිද්ධියට අදාළ කඩවත ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු විභාග මධ්‍යස්ථානයක ශාලාධිපතිවරයා සහ සහකාර ශාලාධිපතිවරයා විභාග දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ දිනයේ විභාග මධ්‍යස්ථාන 2,788කදී පැවැත්වුණා. එම විභාගය සඳහා අයදුම්කරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් පෙනී සිටියා. කිසිදු ගැටලුවකින් තොරව විභාගය සාර්ථකව පැවැත්වූ බවයි විභාග දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ. එහෙත් නීති කඩ කරමින් එම විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් අනතුරුව ඊයේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. නීතියට අනුව විභාග දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කිරීමට පෙර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිසිවෙකුටත් ප්‍රසිද්ධ කිරීමට අවසර හිමි වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් එම විභාගය පැවැත්වීමට පෙර නෙත් නිවුස් සිදුකළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීද පැහැදිලි කෙරුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා. එසේ තිබියදී ඊයේ දිනයේ විභාගයෙන් අනතුරුව එම ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත පළමුව මුදාහැර ඇත්තේ කඩවත ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් බවයි පැවසෙන්නේ. ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ රාජකාරී කළ විභාග ශාලාධිපතිවරයා සහ සහකාර ශාලාධිපතිවරයා අද විභාග දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව විමර්ශන වාර්තාව අදාළ කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. එවැනි වරදක් සිදු කරන විභාග රාජකාරීවල නිරත තැනැත්තන්ට රජයේ සියලු විභාග රාජකාරී තහනම් කිරීමට හැකි බවද ප්‍රකාශ කෙරුණා. එමෙන්ම එම තැනැත්තාගේ රැකියාව සම්බන්ධයෙන්ද අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයට තීරණයක් ගත හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.