දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ ව්‍යසනයෙන් රට යළි ගොඩනැගීම සදහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවන ලෙස රජයෙන් යළි ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ඇති වූ අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන ආ කල්තැබීමේ විවාදයේදීයි.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍යවරිය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය පැවැත්වුණේ ඉන් අනතුරුවයි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම විවාදයේදි අදහස් දැක්වූයේ මෙලෙසයි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ද විවාදයට එක් වුණා.

මේ අතර දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සදහා පූර්ණ සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයා වෙත අද යෝජනාවක් භාරදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා විසින් එය කතානායකවරයා වෙත භාරදුන් අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

අද පැවති කල් තැබීමේ විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය කතාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් විවාදයට එක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.