සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතීන් පිළිබඳ අලුතින් විමර්ශන ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ සියලු කටයුතු නියමාකාරයෙන් සිදුව ඇති බවට මීට පෙරද තහවුරු වී ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දැරූ 2015 සහ 2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඊයේ පැවසුවා.