හමාස් සංවිධානය ඇතිකරගත් සටන් විරාම උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට පහර එල්ල කර තිබෙනවා. ගාසා තීරයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පසු රෆා නගරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කර සිටියේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කරමින් සඳහන් කර ඇත්තේ තමන්, සටන් විරාමයට කැපවී සිටින බවත් ඊශ්‍රායලය ගිවිසුම කඩ කිරීම අඛණ්ඩව සිදු කරගෙන යන බවයි.
මෙම මස මුලදී ඇති කරගත් ගිවිසුමට අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලින් ඉවත් විය යුතු වුවද, රාෆා ඇතුළු ඇතැම් ප්‍රදේශවල රැඳී සිටීමට ඊශ්‍රායල හමුදාවට අවසර ලැබී තිබෙනවා.
වසර දෙකක් පුරා පැවති ගාසා යුද්ධය අවසන් කිරීමේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම ඔක්තෝබර් 10 වන දින සිට බලාත්මක වූ අතර, එහි පළමු අදියර තවමත් සම්පූර්ණ වී නැතත්, ගාසා තීරය තුළ දැනටමත් සන්නද්ධ ගැටුම් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායල පාලනය යටතේ පවතින ප්‍රදේශය තුළ හමාස් සංවිධානය විසින් රොකට් ප්‍රහාර ග්‍රෙනේඩ් ප්‍රහාර සහ ස්නයිපර් වෙඩි තැබීම් සිදු වූ බවයි එම ප්‍රදේශයේ සිටින මාධ්‍ය වාර්තාකරුවන් සඳහන් කර සිටියේ.
සටන් විරාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව හමාස් සංවිධානය තම අවි භාර දී බලය අත්හැරීමට බැඳී සිටින නමුත් ඔවුන් තවමත් එසේ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.