පසුගිය 21 වනදා සිට මේ දක්වා කාල සීමාව තුළ ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ 09ක් වාර්තා වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආරක්‍ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ සහකාර ලේකම් කේ පී ධර්මතිලක මහතා.

මේ අතර, අද පස්වරුවේ හලාවත කොස්වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් රත්මල් ඔයට පෙරළීමෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

නාරවිල සිට සන්දනන්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ මාරවිල, බණ්ඩාරපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මේ අතර, කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල සහ හපුතලේ කොටසේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

හපුතලේ නගරයට ආසන්නයෙන් මාර්ගය මතට කඩා වැටී ඇති පස් කන්දේ කොටසක් මේ වන විට ඉවත් කර එක් මංතීරුවක රථාවාහන ධාවනය ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

බෙරගල ප්‍රදේශයෙන් එම මාර්ගය මතට කඩාවැටී ඇති පස් කන්ද හේතුවෙන් රථවාහන ධාවන සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.