ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා අද තේරී පත් වුණා. සබරගමුව මහ සමන් දේවාලය සඳහා නව බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීම අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නව බස්නායක නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 09 දෙනෙකු, බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා හා උග්ගල් අලුත්නුවර හා අම්මඩුව කුඩා කතරගම දේවාල දෙකේ තාවකාලික භාරකරුවන් දෙදෙනා සුදුසුකම් ලබා තිබුණා. ඒ අනුව මෙම නිලවරණය සඳහා ඡන්ද හිමියන් දොළොස් දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර ඉන් එකොළොස් දෙනෙකු අද පැවති නව බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාවට සහභාගී වී සිටියා. ඉන් එක් අයෙකු ප්‍රකාශ කළ ඡන්දයක් ප්‍රතික්ෂේප වී තිබුණා. ඒ අනුව වලංගු ඡන්ද 10න් ඡන්ද 06ක් ලබා ගනිමින් හිෂාන් සංඛ මාපිටිගම මහතා සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ඉදිරි වසර පහ සඳහා තේරී පත් වුණා.