මෑතකදී සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය, එහි ලේකම් චතුර ගල්හේන යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජේෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නීතීඥ සේනානී දයාරත්න මහතා කරුණු ඉදිරිපත් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම ක්‍රියාව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී තිබේදැයි විභාගයක් පැවැත්වීමට තීන්දු කළා.
ඒ අනුව නවක වදය වැළැක්වීමේ පනත යටතේ නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට විභාග කොට අවසන් වූ සහ දැනට විභාග වෙමින් පවතින සිද්ධීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කළා.
එමෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාල වල නවකවද සිද්ධීන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළා.
ඊට අමතරව සබරගම විශ්ව විද්‍යාලයේ නවක වදය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙතද නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල තවත් අතුරු නියෝග ගණනාවක්ද නිකුත් කළා.
ඉන් අනතුරුව අදාල පෙත්සම් විභාගය සඳහා ලබන වසරේ අප්‍රේල් මස 29 නව වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සබරගමුව විශවවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු නම් කර සිටිනවා.




