ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

ඒ, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙම නඩුකරයට අදාලව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ මෙම නඩුකරයට අදාලව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැදවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍ය වලින් වාර්තා කර තිබූ බවයි.

රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ මහතා සඳහන් කළා.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වග උත්තරකරුවන් දරණ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙහිදී චෝදනා කළේ.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඒ පිළිබඳ දැනුම් දෙමින් වග උත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.