මත්ද්‍රව්‍ය පානය කරමින් බන්ධනාගාරය තුළ සැපවත් ජිවිතයක් ගතකරන රැඳවියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකට අදාළව වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ගාල්ල බන්ධනාගාරයේ හෝ බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු එලෙස කටයුතු කරන බවටයි පැවසෙන්නේ.

ඒ සම්බන්ධයෙන් එම බන්ධනාගාර දෙකෙහි අධිකාරීවරුන්ගෙන් වාර්තා කැඳවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ ‘සී’ වාට්ටුව තුළ රැඳවියන් ජංගම දුරකතන භාවිත කරන බවට බන්ධනාගාර බුද්ධි අංශ වෙත මීට පෙර තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම බුද්ධි අංශ කළ දැනුම්දීමකට අනුව ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අදාළ වාට්ටුවේ හදිසි වැටලීමක් සිදු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එහිදී එම වාට්ටුවේ සඟවා තිබූ ජංගම දුරකතන දෙකක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

එම ජංගම දුරකතන දෙක වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි අංශ වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.