සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කල්බදු පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව එම කොමිසම අද කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා. එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගය සඳහා කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ අසිත ඇන්තනි මහතා විසින් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළ අතර එම සාක්ෂිය අවසන් වීමෙන් පසුව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කරන බවයි. ඒ අනුව විත්තියේ සාක්ෂි කැඳවීම සඳහා මෙම නඩුව ඔක්තෝබර් මස 13 වනදා කැඳවන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. එදිනට පෙර විත්තියේ සාක්ෂි ලයිස්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට නියෝග කරනු ලැබුවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මේ වන විට ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියා.