2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු දීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඒ අනුව එම උසස් කිරීම් බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තබා තිබෙනවා.

ඒ මෙම පෙත්සම් ඊයේ අගවිනිසුරු වූ ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

පෙත්සම්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු කියා සිටින්නේ 2019 වසරේ පැවති සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා වූ පරීක්ෂණයට තමන් ද සහභාගි වූ බවයි.

එහිදී අපේක්ෂකයින්ට ලකුණු ලබාදීම සඳහා අනුගමනය කළ පටිපාටිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඔවුන් චෝදනා කර සිටියා.

එම පරීක්ෂණවලින් පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 232 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කෙරුණු බවත් ඔවුන් පෙන්වා දුන්නා.

එම උසස් කිරීම් සියල්ල නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා