ස්වාමීන් වහන්සේ නමකගේ විදේශීය මුදල් තොගයක්, ගමන් ගනිමින් තිබූ ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුවන් යානය කටුනායක බලා ගමන් කරමින් තිබියදී, එම ස්වාමීන් වහන්සේ වැසිකිළියට ගොස් ඇති අතර, එම අවස්ථාවේ චීන ජාතිකයන් දෙදෙනා උන් වහන්සේගේ ආසනය වෙත පැමිණ එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ලේ තිබූ විදේශීය මුදල් සොරකම් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස සොරකම් කර ඇති විදේශීය මුදල්වල වටිනාකම මෙරට මුදලින් රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අට සිය පනස් පහක් වන බවටයි අනාවරණ වී ඇත්තේ.

ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් පසුව, ගමන් මල්ල තුළ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වීමෙන් එම ස්වාමීන් වහන්සේ විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී අදාළ චීන ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.