සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානයේ නියෝජිතයන් සහ ඊශ්‍රායල් රජයේ ප්‍රධානින් අතර හමුවක් කටාර් රාජ්‍යයේදි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කටාර්, ඊජිප්තු හා අමෙරිකාව මැදිහත්වීමෙන් මෙම සටන් විරාම සාම සාකච්ඡා දෝහා හිදී පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම සටන් විරාම සාම සාකච්ඡා අමෙරිකාවේ යෝජනාවකට අනුව පැවැත්වෙන අතර, මාස 2ක සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම මත පදනම්ව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

සාම සාකච්ඡාවේ සැලැස්මට ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් වෙනුවට හමාස් සංවිධානය විසින් ජීවමාන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු සහ තවත් ප්‍රාණ ඇපකරුවන් 18 දෙනෙකුගේ මළ සිරුරු නිදහස් කිරීමද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මැදිහත්වීමෙන් ගාසා තීරයට ප්‍රමාණවත් ආධාර ප්‍රමාණයක් වහාම ඇතුළු වනු ඇතැයි ද අදාළ සාම සාකච්ඡා යෝජනාවේ සඳහන්.

කෙසේවෙතත් හමාස් සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනා අනුමතකළ නොහැකි වුවද සාකච්ඡා සඳහා ලැබුණු ආරාධනාව පිලිගන්නා බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කර ඇත්තේ.

ස්ථිර සටන් විරාමයක් ඇති කිරීමට සාම සාකච්ඡා හරහා අසමත් වුවහොත් යළි යුද ගැටුම් ආරම්භ නොකළ යුතු බවට විධානයක්, සාම සාකච්ඡා කොන්දේසිවලට ඇතුළත් කළ යුතු බවයි හමාස් සංවිධානය ඉල්ලා සිටින්නේ.

සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර හමාස් සංවිධානයේ හමුදා සහ පාලන හැකියාවන් විනාශ කරන තුරු යුද්ධය අවසන් නොකරන බව ඊශ්‍රායල අගමැතිවරයා මිට පෙර ප්‍රකාශ කර තිබුණා.

ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් ඊයේ පැවසුවේ ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සුරක්ෂිත කිරීමට ඇති එකම මාර්ගය ගාසා තීරය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීම, මානුෂීය ආධාර සම්පූර්ණයෙන්ම නැවැත්වීම සහ පලස්තීන ජනගහනයේ සංක්‍රමණය දිරිමත් කිරීම බවයි.

මෙම සටන් විරාම සකච්ඡා අතරතුරත් ගාසා තීරයේම, හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ පසුගිය පැය 24ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 80 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර මැයි මස අග සිට අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහය ලබන ගාසා මානුෂීය පදනම විසින් පවත්වාගෙන යනු ලබන ආධාර බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 743 දෙනෙකු මිය ගොස් ඇති බවද පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.