පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලකුණු 67ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 162ක් රැස් කළා.
බ්‍රයන් බෙනට් ලකුණු 49ක් සහ සිකන්දර් රාසා ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 03ක් සහ එශාන් මාලිංග ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 95ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 04 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර පස්වන කඩුල්ලට පමණක් ලකුණු 23ක සබඳතාවක් ගොඩනැගුනා.
පසුව යළිත් ශ්‍රී ලංකා පිළේ කඩුලු එක පෙළට බිඳ වැටීමත් සමග සිම්බාබ්වේ පිල පහසුවෙන් ජයග්‍රහණයට ළඟා වුණා.
හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමග වේගවත් ලකුණු 34ක් රැස් කළා.
මාස ගණනාවකට පසු යළි ශ්‍රී ලංකා සංචිතයට කැඳවූ භානුක රාජපක්ෂ පන්දු 18කදී රැස් කළේ ලකුණු 11ක් පමණයි.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු නවයේ සීමාව පසුකර යාමට ඉඩ ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී බ්‍රැඩ් එවන්ස් ලකුණු 09කට කඩුලු 03ක් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය පාකිස්ථානය සමග හෙට පැවැත්වෙනවා.




