Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරු විසින් එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම නඩු කරයට අදාල නඩු ගොනු තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවහෙට්ටි සහ අලි ශබ්රි යන ජනාධිපති නීතිඥවරුද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාල ගොනු මේ දක්වා තමන්ටද ලැබී නොමැති බවයි.
අනතුරුව ඒ කෙරෙහි අවධානය යොමු කළ අග විනිසුරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල අදාළ ගොනු කඩිනමින් පෙත්සම්කාර අභියාචක පාර්ශවයට හා අල්ලස් කොමිසමට ලබාදෙන ලෙස අධිකරණ නිලධාරීන්ට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වන මහත්වරු බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුණා
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල වලට බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 53 කට අධික මුදලක් රජයට පාඩු සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරු කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20 ක් සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25 ක් සිර දඬුවම් නියම කරනු ලැබුවා.
එම දඩුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.




