මේ වනවිට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ඇප මත මුදාහැර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ලැයිස්තුගත කර තිබෙන ලේඛන හෝ ඒවායේ මුල් පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබේ නම් ඒවා අද සිට සතියක් තුළ තම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියම කළා. ඒ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් සතොස ආයතනය හරහා ආනයනය කර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවට අදාළවයි. එමෙන්ම මෙම නඩුවට අදාල ලේඛන මෙම සිද්ධියට අදාළව විභාග වූ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවතින නඩුවේ තිබේ නම් එම ලේඛන ද අද සිට සතියක් තුළ තම අධිකරණය රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියම කර ඇත්තේ.