අනවසර ඉදිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පැවසුවේ එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් ඊට අදාළ කිසිදු බලධාරී ආයතනයක්, කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් මෙවැනි ප්‍රවෘත්තියක් පළ වීමට පාදක වී ඇති සීගිරිය අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව ඇති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

සීගිරය වැනි ලෝක උරුම භූමියක අනවසර ඉදිකිරීම් සිදු කිරීමට අවසර දුන්නේ කවුද? මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දිනය පිළිබඳ අද පැවති උත්සවයකට එක්වෙමින් සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා අදහස් පළ කළා.