වර්තමාන ආණ්ඩුවේ අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් මෙරට සීනි කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි විපක්ෂය චෝදනා කරනවා.

කෙසේවෙතත් කඩාවැටී ඇති සීනි කර්මාන්තශාලා යළි නඟා සිටුවීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ ද ක්‍රියාත්මක වෙමින් ඇති බවයි ආණ්ඩුව පවසන්නේ.

පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සීනි සහ එතනෝල් පිටරටින් ආනයනය කිරීම මෙම තත්ත්වය තවත් තීවෘ කර ඇති බවයි.

කෙසේවෙතත් ගොවීන්ගේ සියලු ගෙවීම් මේ වන විට ගෙවා අවසන් කරමින් ඇති බවත් ඒ සඳහා අරමුදල් සපයා ගත්තේ මෙරට නිෂ්පාදිත සීනි සහ එතනෝල් අලෙවියෙන් බවත් ඊට ප්‍රතිචාර දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා.

මේ අතර පාර්ලිමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේ ආණ්ඩුව පෝට් සිටිය වෙනුවෙන් අසීමිත බදු සහන ලබාදෙමින් ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ආණ්ඩුව සිදු කරගෙන යන වැඩපිළිවෙල දැක විපක්ෂය බියට පත්ව ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතයි.