සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සඳහා ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථා ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කර තිබෙනවා. පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව එම පනත් කෙටුම්පත සම්මත වුණා. ඒ අනුව එම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස අද සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම පනත සූදු ක්‍රිඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර පනත ඉවත් කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතක් වනවා. ශ්‍රී ලංකාවේ සූදු ක්‍රිඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රිඩා නියාමන අධිකාරිය පිහිටුවීමට එම පනත මගින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. එම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Published