සූර්ය විදුලි බල උත්පාදකයින්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සූර්ය විදුලි බල උත්පාදකයින් 17 දෙනෙකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස නියෝග කළා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වහලවල් මත සවිකර තිබෙන සූර්ය බල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය මෙන්ම ලේකෝ ආයතනය විසින් ගෙවනු ලබන ගාස්තු ඉකුත් ජූලි මස 01 වනදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.
විදුලි බල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම අඩු කිරීම සඳහා එම කොමිසමේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් චෝදනා කළා.
එමෙන්ම අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම මගින් දැනුම්දීමක් කර තිබුණත් එය ක්‍රියාත්මක වී නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මේ ආකාරයෙන් ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම එම පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු අදාළ ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.