කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත් වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. මෙරට දළ දේශීය නිෂ්පාදිතයට කර්මාන්ත අංශයේ සහ නිෂ්පාදන අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමත්, ජාතික ආර්ථිකයට වන, ව්‍යවසායකත්ව දායකත්වය ඉහළ නැංවීම හා වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වන ආදායම ඉහළ නංවා ගැනීමත් අරමුණු කර ගනිමින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද එහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ තවත් රාජ්‍ය නිලධාරින් රැසක් එම අවස්ථාවට එක්ව සිටි බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.