තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට දිනයේ සිට අවලංගු කරමින් තැපැල්පති එස් ආර් ඩබ් එම් ආර් පී සත්කුමාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම නිලධාරීන්ට දැනුම් දීමට කටයුතු කරන ලෙස තැපැල් දෙපාර්තුමේන්තුවේ සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්, ප්‍රධාන ගණාකධිකාරී, ප්‍රධාන අභ්‍යන්තර විගණක, ප්‍රධාන ගණාකධිකාරී මුද්දර වෙත දැනුම්දී ඇති බව එම නිවේදනයේ සඳහන්. අදාළ නිවේදනයේ පිටපත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුළු තැපැල් සේවාවට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් වෙත යොමු කර තිබෙනවා. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තමන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මීට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව හෙට පස්වරු 04 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ හෙට මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලුම තැපැල් සහ පාලන කාර්යාලවල එලෙස අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.