අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට අද පමුණුවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාලව දූෂණ විරෝධී පනත යටතේ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙම සැකකරු පානදුර, පිංවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා තම බිරිඳගේ නමින් පවතින ගිණුමකට මුදල් රැස් කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එහිදී පැවසුවා.

රුපියල් ලක්ෂ 350කට ආසන්න මුදලක් මේ යටතේ රැස්කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒවා සැකකරු විසින් අයථා ලෙස පරිහරණය කරන තිබෙන බවට සැක කළ හැකි කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පසුව මෙම මුදල් පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම සඳහා රැස්කළ මුදල් බවට තමන් විසින්ම සකසනු ලැබූ දිවුරුම් ප්‍රකාශයකට විහාරස්ථානයේ රෝගී තත්වයෙන් පසුවූ හිමිනමකගෙන් අත්සන් ලබාගෙන තිබෙන බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.

පසුව මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී අදාල ස්වාමීන් වහන්සේ මෙම දිවුරුම් ප්‍රකාශයට අත්සන් කර තිබෙන්නේ කියවා බැලීමකින් තොරව බවට කරුණු අනාවරණය වී ඇති බවත් කියා සිටියා.

ඊට අමතරව මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 92 කට මිලදී ගනු ලැබූ ඉඩමක් රුපියල් ලක්ෂ 40 ක් ලෙස පෙන්වීමට උත්සාහ කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි අධිකරණයේදී ප්‍රකාශ වුණේ.

මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති හෙයින් මෙම විමර්ශන තවමත් අවසන් වී නොමැති නිසා මොහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවයි.

මෙම සියලු මුදල් රැස්කර තිබෙන්නේ සිය බිරිඳගේ ගිණුමට බව සඳහන් කළ නීතිඥවරයා නීති විරෝධී ක්‍රියාවක් කිරීමට සූදානම් වන පුද්ගලයකු ගිණුමකට මුදල් රැස්කරනවා දැයි ප්‍රශ්න කළා.

තම සේවාදායකයාගේ සේවා කාලය තුළ වාහන බලපත්‍ර හතරක් පමණ ලැබී තිබෙන බවත් ඔහු ඒවා විකිණීමෙන් මුදල් උපයාගෙන තිබෙන බවත් පෙන්වා දුන්නා.

එසේ ලැබුණු මුදල් ඔහුගේ බිරිඳගේ සහ ඔහුගේ ගිණුම්වල තැන්පත් කර තිබෙන බවත් නීතිඥවරයා කියා සිටියා.

මෙම මුදල් රැස් කර තිබෙන්නේ ඔහුගේ බිරිඳගේ ගිණුමට නිසා බිරිඳ අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, සිය සේවාදායකයා රජයේ සේවකයෙකු බැවින් මෙම චෝදනාවලට පැටලවීමට අල්ලස් කොමිසම උත්සාහ කරන බවටත් සඳහන් කළා

තම සේවාදායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට කරුණු අනාවරණය වී නොමැති නිසා ඔහු ඇප මත මුදා හරින ලෙසයි නීතිඥවරයා අවසානයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

———————————————– UPDATE —————————————————————–

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ ප්‍රකාශයක් ලබා දීමට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණීමෙන් අනතුරුවයි.