ලබන 06 වනදා පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය කල් දැමීමට තීරණය කළ බව පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු තහවුරු කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත වෛද්‍යවරුන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය හදිසියේ කල් දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ සති දෙකකින් පක්ෂ සංවත්සරය කල් දැමීමට මේ වන විට තීරණය කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ස්ථාවරය කෙබදුදැයි නෙත් නිවුස් එම පක්ෂයෙන් විමසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ පක්ෂ දෙකට එක්වී ඉදිරියේදී කටයුතු කළ හැකිදැයි සාකච්ඡා කරන බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයට පැමිණෙන ලෙස මෙතෙක් නිල ආරාධනයක් ලැබී නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ පැවසුවේ.