2023 වසරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා කියවාදීම සිදුකෙරුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම අධි චෝදනා කියවනු ලැබුවා.

අධි චෝදනා කියවා දීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥවරු එම අධි චෝදනා නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒවා ඉවත් කරන ලෙසත් ඉල්ලා මූලික විරෝධතා මතුකලා.

එහිදී නඳුන් චින්තක හෙවත් හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා නිර්දෝෂී පුද්ගලයෙකු වන අතර ඔහු කිසිදු අධිකරණයකින් වරදකරු කර නොමැති බව සඳහන් කළා.

තම සේවා දායකයා අධිකරණයට පැමිණ සිටින්නේ පිරිසුදු දෑතින් බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව පවා පොලිසිය විසින් ඔහුට කියාදී නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

සිය සේවා දායකයාට එල්ල කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලායාමේ චෝදනා බවත් සාමාන්‍ය නීතිය යටතේ එවැනි චෝදනාවක් එල්ල කර වරදකරු වූවත් ඔහුට අධිකරණයෙන් හිමිවන්නේ වසරක සිර දඬුවමක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන්නේ ඔහුට දැඩි දඬුවම් ලබා දීම් අරමුණින් බවත් සඳහන් කළා.

ද්වේෂ සහගතව හෝ වැරදි ලෙස කරුණු වටහාගෙන නීතිපතිවරයා සිය සේවා දායකයාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කර තිබෙන බවත් මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කිරීමක් බවත් ඔහු සඳහන් කළා.

සිය සේවා දායකයාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ලකර තිබෙන අධි චෝදනා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව මෙම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්පරයකු වන රවිදු සන්ධිප ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා කොටි සංවිධානය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව සඳහන් කරමින් රැඳවුම් නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කළත් දැන් ඉදිරිපත් කර තිබෙන්නේ අත්අඩංගුවෙන් පලා යෑමට ආධාර අනුබලදීමේ චෝදනා බව සඳහන් කර සිටියා.

තම සේවා දායකයා පොලිස් නිලධාරීන්ට කිරි ටොපි ලබා දුන් බව මෙම නඩුවෙන් චෝදනා කර ඇති බවත් කිරි ටොපි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ කෙසේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා මුල් අවස්ථාවදීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

පැමිණිල්ල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරන බවට නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය නීතිඥවරු විසින් මහාධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා එවැනි ඉල්ලීමක් සිදු කළ යුත්තේ අභියාචනාදීකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බව කියා සිටියා.

පළමුවන විත්තිකාර හරක් කටා නමැත්තා එවැනි ඉල්ලීමක් දැනටමත් අභියාචනාදීකරණය හමුවේ සිදුකර එය ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා අද දින කරුණු ඉදිරිපත් කිරීමේදී විත්තිය විසින් එම කරුණ අධිකරණයට වසන් කළ බවත් සඳහන් කළා.

මෙම විත්තිකරුවන් විසින් සිදු කර තිබෙන වරද ඉතා ලිහිල් කර දැක්වීමට විත්තියේ නීතිඥවරු උත්සාහ කළත් විත්තිකරුවන් කිසියම් රසායනික ද්‍රව්‍යයක් පොලිස් නිලධාරීන්ගේ ශරීර ගත කිරීමට උත්සාහ කර ඇති බවත් එය ශරීරගත වූයේ නම් මරණය පවා සිදුවිය හැකි බවට අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම මූලික විරෝධත පිළිබඳ නියෝගය ජුලි මස 03 වනදා ප්‍රකාශයට පත්වන බව නිවේදනය කලා.

මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට බෝල් පොයින්ට් පෑනක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරන බව අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී විනිසුරුවරයා ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට දැනුම් දුන්නේ මේ වන විට විත්තිකරුට ලබා දෙන ලෙස අධිකරණය විසින් නියම කර ඇති සියලු දේවල් ඒ ආකාරයෙන්ම ඔහු වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එක් එක් කාරණා සම්බන්ධයෙන් වෙන් වෙන්ව නියෝග නිකුත් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.