රුපියල් දහ අට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එම සැකකරු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ සඟවා තිබී “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 253ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
එම ගමන් මල්ලේ සඟවා තිබූ පොලිතීන් ඇසුරුම් 06ක් තුළ කුඩා ඇසුරුම් 72ක් ලෙස එම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය අසුරා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 21 හැවිරිදි කැනඩා ජාතික උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයෙක් වන බවද ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
අත්අඩංගුවට ගත් කැනඩා ජාතිකයා සහ “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.





