මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමංමාර්ගය ආසන්නයේදීයි.

නිට්ටඹු‍වේ සිට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථය, නුවරඑළියේ සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි දිඹුල – පතන පොලිසිය පැවසුවේ. අනතුරින් ත්‍රිරෝද රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාවත් සමග හැටන් – නුවරඑළිය සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි දිඹුල – පතන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.