හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ සිටි මාලු‍ ව්‍යාපාරිකයෙකු ඝාතන තැතක් ව්‍යර්ථ වී තිබෙනවා. එම ව්‍යාපාරිකයා ඉලක්ක කර අද උදෑසන එල්ල කළ වෙඩි ප්‍රහාරය සාර්ථක නොවීමෙන් පසු නාඳුනන තුවක්කුකරුවන් පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

පැරණි ආරවුලක් මත මෙම මාලු‍ ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු යතුරු පැදියකින් දොඩන්දූව ධීවර වරායට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා අදාළ පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීමට උත්සහ දරා ඇති නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග නාඳුනන තුවක්කුකරුවන් පලා ගොස් තිබුණා.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.

සී සී ටී වී දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන සිදු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී හික්කඩුව පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ මෙලෙසම ඊයේ දිනයේදීද නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම වෙඩි තැබීමට පැමිණියේ එම සිද්ධියට සම්බන්ධ නාඳුනන තුවක්කුකරුවන් දැයි සැක කරන බවයි පොලීසිය සදහන් කළේ.