හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම විදෙස් ගතව සිටින මෙරට පුද්ගලයින් දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවට පොලීසිය සිය සැක පළ කරනවා.

මේ, ඒ පිළිබඳ වාර්තාවක්.

හික්කඩුව, මහමත්ත ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර පළාගොස් තිබුණා.

පොලිසිය මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් වෙඩි ප්‍රහාර හතරක් එම නිවස දෙසට එල්ල කර ඇති බවයි.

එම වෙඩි ප්‍රහාරවලින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අදාල නිවසේ මැදිවියේ පසුවන අඹුසැමි යුවලක් රැඳී සිට තිබෙනවා.

එම යුවලගේ දරුවන් ඉතාලියේ ජීවත් වන අතර ඔවුන් ඉතාලියේ වෙසෙන තවත් පාර්ශ්වයක් සමග පැවති තරඟයක් අතරතුර ඇතිකර ගත් ගැටුමක් මුල්කර ගනිමින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත එම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර වෙඩි තබා බිය ගැන්වීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාකවිට හා තම්මිට ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 510ක් සහ අනෙක් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් හා වෙඩි තැබීමේ අපරාධයට යොදා ගනු ලැබූ යතුරුපැදියක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 33 වයස්වල පසුවන මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.