පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජුලි මස 18 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා

එම නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අභියාචනාධිකරණයට උසස් වීමක් ලබා තිබෙන හෙයින් එම නඩුව වෙනත් විනිසුරුවරයෙක් ඉදිරියේ එදින කැඳවන ලෙසයි නියම කෙරුණේ.

මෙම චෝදනාවට අදාල අධි චෝදනා පත්‍ර ඉකුත් 06 වනදා හිටපු අමාත්‍යවරියට බාර දුන් අතර ඉන් පසුව ඇය රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය විසින් නියම කර තිබුණා.විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබේ.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබේ.