වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතු සායතනයේ සේවකයින් සිය දිලා රාජකාරි වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කොට හිටපු වෙළද අමාත්‍යයේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද විභාගයට ගත්තා.

ඒ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාව සම්බන්ධයෙන් 2010, 2011,2012 සහ 2014 යන වසර වල් සඳහා වෙන් වෙන් වශයෙන් නඩු හතරක් ගොනුකර තිබූ බව සඳහන් කළා.

මෙම නඩු මීට පෙර අධිකරණ හතරක විභාග වූ බවත් පසුව ගනු ලැබූ පරිපාලන තීරණයක් හේතුවෙන් එම නඩු සියල්ල දැන් මෙම අධිකරණය හමුවට පැමිණ තිබෙන බවත් නීතිඥවරු සඳහන් කර සිටියා.

මෙම තත්ත්වය සාධාරණ නඩු විභාගයකට බාධාවක් යැයි පෙන්වා දුන් එම නීතිඥවරු අදාළ නඩුව වෙනත් අධිකරණ වලට යොමු කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා සඳහන් කළේ මේ තුළින් සාධාරණ නඩු විභාගයකට බාධා සිදු නොවන බවයි.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියම කළා.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට නියෝග කළා.