අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ, එම නඩුව විභාග කරන විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන්.
අල්ලස් කොමිසම විසින් විත්කිකාර මර්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනාවල සඳහන් කර තිබෙන්නේ 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවයි.
ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ – 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර ඇති බව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන්.
ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75000 ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
එම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකක්.