හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දුරකථනය ද විසන්ධි කර සිය නිවස අතහැර ගොස් ඇති බව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

ඔහු නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටිනවා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණත් ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම එම ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටින බවයි.

රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට සඳහන් වෛද්‍ය වාර්තාවක් නීතිඥවරයෙකු මාර්ගයෙන් අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි කිසිදු නීතිමය පිළිගැනීමක් දක්නට නොලැබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී සඳහන් කර සිටියා.

රටින් බැහැරව සිටින බවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්වමින් කොමිසම මඟහරිමින් සිටින මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයන් ඉල්ලා සිටියා.

සැකකරු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා තිබේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් එම නිලධාරීන් සඳහන් කළේ එම ලේඛන අල්ලස් කොමිසමේ ගොනුවක් තුළ බහා ඇති බවයි.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ සැකකරුට වරෙන්තුවක් නිකුත් කිරීමට නම් ඊට අදාළ ලේඛන අධිකරණයේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට බලය තිබෙන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එහිදී මහේස්ත්‍රත්වරයා අල්ලස් කොමිසමට නියම කරමින් සඳහන් කළේ එම බලතල උපයෝගී කර ගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසයි.