2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ජනවාරි මස 29 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය යොමු කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13 ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.

එහිදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඒවා අධ්‍යයනය කිරීමට කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අදාල නඩුව යළි ජනවාරි මස 29 වන දා කැඳවීමටද විනිසුරුවරයා නියම කළා.