ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන මහත්මිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ව්‍යාජ දත්ත ඇතුළත් කළ ලියාපදිංචි කළ ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ උදෑසන එම ඒකකය වෙත භාරවූ අවස්ථාවේදීයි.

එහිදී ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඇය ඉදිරි විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබුණා.

මෙම සිද්ධියට අදාල ජීප් රථය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් ජූලි 19 වනදායි.

මතුගම නගරයේදී එම ජීප් රථය සමග එය පැදවූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතගේ පුත් රසික විතාන මහතා ද අත්අඩංගුවට ගැණුනා.

පසුව මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ද අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව රසික විතාන මහතා ඇප මත මුදාහැරීමටයි එම අවස්ථාවේදී අධිකරණය නියෝග කළේ.

ප්‍රශ්නගත ජීප් රථයේ අටවන ලියාපදිංචි හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වන බවත් එම ජීප් රථයේ නවවන හිමිකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ සමාගමක් ලියාපදිංචි කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.