ටී එම් වී පී පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක, නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අදාළවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාද පසුගිය අප්‍රේල් 08 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී අත්අඩංගුවට ගැණුනා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු එහිදී මාස 03ක කාලයකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී, පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණ තිබෙනවා.

මේ අතර, 2005 සහ 2009 වර්ෂවලදී තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් එම අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබෙනවා.