ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රැදවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 18 දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) යළි කැඳවූ අවස්ථාවේදියි.
මෙම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේ ප්‍රධාන විත්තිකාර හිටපු රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයා අක්මාවේ අසනීප තත්වයකින් පෙළෙන බැවින් ඔහුට අද දින අධිකරණයේ පෙනී සිටිමීට හැකියාවක් නැති බවයි.
ඒ අනුව මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙසද නීතිඥයින් ඉල්ලා සිටියහ.
සැකකාර හිටපු රාජ්‍ය අමත්‍යවරයා අක්මාවේ අසනීප තත්වයකින් පෙළන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දැක් වූ කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මීලඟ නඩු දිනයේදී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට යටත්ව නඩුව දෙසැම්බර් මස 18 දින යළි කැඳවීමට නියෝග කරනු ලැබීය.
එදින වෛද්‍ය වාර්තා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නියෝග කෙරිණ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
ඒ අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මීට පෙර කර තිබූ නියෝගයකට අනුවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයට අදාළව පැමිණිල්ලේ එකේ සිට 12 දක්වා සාක්සිකරුවන් ලබාදී ඇති ප්‍රකාශ වල පිටපත් විත්ති පාර්ශවයේ නීතිඥයින්ට ලබා දෙන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඔ අපරාධ කොට්ටාශයට නියෝග කරනු ලැබීය.
පැමිණිල්ලේ පළමු සහ හත් වන සාක්සිකරුවන්ටද සාක්සි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාශය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකෙු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධි බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දන්ඩ නීති සංගශ්‍රයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට (හිටපු බන්ධනගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බවද කොළඔ අපරාධ කොට්ඨාශට තවදුරටත් අධිකරණයට සැළ කර සිටියා.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි දෙවන පෙළ ජේලර් කුඔුරේගෙදර ජයතිලක පොලිස් මූලස්ථානයේ නීති කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරි ආර් එම් පී ජී එස් ඩී බී රත්නායක කොළඔ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් රණසිංහ යන මහත්වරුන් සහ බන්ධනාගර නිලධාරීන් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රදවා සිටි රැදවියන් ඇතුළු 14 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ තිබෙනවා.
පැමිණිල්ල වෙනුවෙන් කොළඔ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරික්ෂක ඒ එච් එල් සුමනසිරි මහතා සමඟ රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පෙනී සිටි අතර විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ නුවන් ඩී අල්විස් සහ නිශ්සංක පීරීස් යන මහත්වරුන් සමඟ සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥයිවරුන් වන කේසවන් සජන්දන් සහ බෙනස්ලන් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියා.