Published
“ආදරය” ඝාතනයකින් අවසන් කරන්න ආදරය කළ හිතකට පුළුවන්ද? තමා පණ මෙන් ආදරය කළ පෙම්වතියගේ ගෙල කපා තමාගේ ද ගෙල එම පිහියෙන්ම කපාගෙන පණ නළ නිහඬ කිරීමට ඒ හිතට පුළුවන් වුණේ කොහොමද?
අද අලුයම අම්පාර, පදියතලාව, මරංගල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්ව ඇගේ පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර පසුව ඔහුද ගෙල කපාගෙන මියගොස් තිබුණා.
යතුරුපැදියකින් අද අලුයම ඇයගේ නිවසට පැමිණි පෙම්වතා, පළමුව තරුණියගේ ගෙල කපා තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි සරෝජා උදයංගනී නැමති තරුණියක්.
පසුව අදාළ තරුණයා විසින් තරුණියගේ මවට සහ පියාට ද කැපුම් තුවාල සිදුකර තිබුණා.
පසුව එම තරුණයා ද ගෙල කපාගනිමින් සියදිවි හානිකරගෙන තිබෙනවා.
ඔහු 31 හැවිරිදි මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවය මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබුණා.
පෙම්වතාගේ පිහි පහරින් තුවාල ලැබූ මව සහ පියා මේ වනවිට මහඔය මූලික රෝහල ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී ද පුද්ගලයෙකු කාන්තාවකගේ ගෙළ කපා ඝාතනය කර තිබුණා.
එලෙස ඝාතනය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳයි.
ඇය නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ පදිංචි අවුරුදු 39ක තිදරු මවක්.
පසුව ඝාතනය කළ සැකකරු ගම්පොළ පොලිසියට භාර වීමෙන් පසු නාවලපිටිය පොලිසියට භාරදුන් බව නාවලපිටිය පොලිසියට භාරදී තිබෙනවා.
ඝාතනයට ලක් වූ කාන්තාව, සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ඇති බවයි පැවසෙන්නේ.
පසුව ජූනි මස 22 වන දින යලිත් තම නීත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ සිටියදි ඇය වරින් වර අනියම් සැමියා සමග දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත්, ඇය ගෘහ සේවය සඳහා විදේශ ගත වීමට සූදානම්ව සිට ඇති බවත් දැන් අනාවරණ වී තිබෙනවා.
ඊට අනියම් සැමියා දක්වා ඇත්තේ දැඩි විරෝධයක්.
ඝාතනයට ලක් වූ කාන්තාව ග්‍රාමසේවක සහතිකයක් ලබා ගැනිමට ඊයේ දින ග්‍රාමසේවා කර්යාලයට යන බව අනියම් සැමියාට දැනුම්දී සිය වැඩිමහල් පුතා සමග ගොස් තිබෙනවා.
පසුව අනියම් සැමියා එම කාන්තාවට දුරකථනයෙන් කතා කර ඇය හමුවීමට පාලු බංගලාවට පැමිණෙන ලෙස දැනුම්දී, කාන්තාව එම පාලු බංගලාවට ගිය අවස්ථාවේ සැකකරු පිහියකින් ඇගේ ගෙළ කපා ඝාතනය කර ඇති බවයි නාවලපිටිය පොලීසිය පැවසුවේ.