හුංගම දී ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් සැකකරුට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුගිය 17 වනදා එම සැකකරු අත්අඩංගුවට ගැණුනේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි, ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හුංගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්.

සැකකරු සන්තකයේ තිබී ටී - 56 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 63ක්, පතරොම් ගැබ් 02ක් සහ බෝර 12 වර්ගයේ පතරොම් යෙදිය හැකි අවි 02ක්, බෝර 12 වර්ගයේ පතරොම් 25ක්, රිවොල්වර් වර්ගයේ පතරොම් 34ක්, ටිපර් රථයක් හා කැබ් රථයක් ද පොලීසිය විසින් සිය භාරයට ගැනීමටයි කටයුතු කර තිබුණේ.

සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ ටිපර් රථය හා කැබ් රථය ලබා දී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් බවයි.