පළාත් පාලන මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට සියයට 50ක බහුතර බලය හිමි නොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිත අතර, ඒ සඳහා ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගියදා අවසන් වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පූර්ණ ජයග්‍රහණයක් හිමි නොවීම විශේෂත්වයක්.
කොළඹ මහනගර සභාවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභික ධුර 48ක් සහ සමගි ජන බලවේගය සභික ධුර 29ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය සභික ධුර 13ක් හිමි කර ගත්තා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූයේ සභික ධුර 05ක් පමණයි.
එමෙන්ම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක් හිමි කර ගැනිමට හැකි වුණා.
සර්වජන බලයට සභික ධුර 02ක් හිමි වුණා.
එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක්, ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමිවුණා.
එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යන පක්ෂවලට එක් සභික ධුරය බැගින් හිමි වුණා.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ටද හිමි වුණේ එක් සභික ධුරයක් පමණයි.
සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය තනි පක්ෂයකට හෝ කණ්ඩායමකට පිහිටුවීමට නම් කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් ලබා ගත යුතු වනවා.
මැතිවරණයෙන් පසු කිසිදු දේශපාලන පක්ෂයක් කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට අපොහොසත් වූ පසුබිමක කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම හෙට දිනයේ පැවැත්වෙන බවයි බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ.
ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන ඡන්ද විමසීමකින් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත්කර ගැනීමට නියමිතයි.