උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඉදිරි කාල සීමාව තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ පස්වරු කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

මේ අතර ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බැවින් හෙට සිට දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කළා.

මේ අතර ‘දිට්වා’ සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පහළොස් ලක්ෂ අසූ හයදහස් තුන්සිය විසිනව දෙනෙකු තවදුරටත් බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

පුද්ගලයින් දෙලක්ෂ එක් දහස් අටසිය හැත්තෑ පස් දෙනෙකු තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව වාර්තා වී ඇති ආපදා මරණ ගණන 474ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 356ක්.